2016 සැප්තැම්බර් මසදී මානව වාසස්ථාන සැළසුම් කිරීමේ හා පුහුණු අංශය විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල, වැවිලි මානව සංවර්ධන භාරය (PHDT), නාගරික සංවර්ධන අධිකාරිය (UDA) සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) හා එක්ව ආපදා අවදානම අවම කිරීමේ දැනුවත් කිරීම් හා පුහුණු වැඩසටහන් මාලාවක් පවත්වන ලදී. ග්‍රාම නිළධාරීන්, පෙදරේරුවන්, සැළසුම් ශිල්පීන් හා පාසැල් සිසුන් මෙම වැඩසටහන්වලට සහභාගී විය. පුහුණු වැඩසටහන තුල උවදුරු ඔරොත්තු දෙන නිවාස තැනීමේ ක්‍රමවේද, නායයාම්වලට ලක්ව ඇති ප්‍රදේශවල මානව ජනාවාස වැඩපිළිවෙල් සහ උවදුරු හා අවදානම් සිතියම්ගත කිරීම අඩංගු විය.

ආපදා ඔරොත්තු දෙන නිවාස ඉදිකිරීම පිළිබඳව පෙදරේරු පුහුණුව

සීමා. අල්ට්‍රාටෙක් සිමෙන්ති ලංකා සමාගමේ සහාය ඇතිව ‘ආපදා ඔරොත්තු දෙන නිවාස තැනීම’ පිළිබඳ පුහුණු වැඩසටහනක් පෙදරේරුවන් සඳහා පවත්වන ලදී. මෙම වැඩසටහනෙහි මූලික අරමුණ ආපදා ඔරොත්තු දෙන නිවාස තැනීමේ ක්‍රමවේද පිළිබඳව පෙදරේරුවන්ගේ දැනුම වැඩි කිරීමයි. නිවාස තැනීමේ දී වඩාත් උචිත තැනීම් ක්‍රම හදුන්වාදීම මෙම වැඩසටහන මගින් සිදු වේ. එක් එක් වැඩසටහන අවසානයේ දී මෙවලම් කට්ටල (මේසන් හැන්ද, ලඹය, මැණුම් ටේප්, ස්ප්‍රීතු ලෙවල හා අත්වැසුම්) සහභාගී වුවන් හට බෙදා දෙන ලදී.

නායයා‍මේ අවදානමට ලක් වූ ප්‍රදේශවල රාජකාරියේ නිරත ග්‍රාම නිලධාරීන් පුහුණු කිරීම

මෙම පුහුණුවේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ නායයාම් අවදානම් තක්සේරු ක්‍රියාදාම ශක්තිමත් කර නායයාම් ආපදා පිළිබඳව දැනුම්වත් කරවීමයි. නායයාමක් හදුනා ගන්නා ආකාරය, නායයාම්වලින් ඇති වන පීඩාකාරී බලපෑම් අවම කරගන්නා අයුරු, නායයාම් අවදානම් තක්සේරු ක්‍රියාදාමය සහ ආපදා ඔරොත්තු දෙන නිවාස තැනීමේ ක්‍රමවල ඇති වැදගත්කම වැනි මාතෘකා පුහුණුවේ දී සාකච්ජාවට බදුන් කෙරිනි.

වැවිලි මානව සංවර්ධන භාරයේ (PHDT) කාර්මික නිලධාරීන්ට ලබා දුන් පුහුණුව

මෙම පුහුණුවේ ප්‍රධාන අරමුණ වන්නේ නායයාම්වලට විශේෂ අවධානයක් යොමු කරමින් ආපදා ඔරොත්තු දෙන ඉදිකිරීම් ක්‍රමවේද පිළිබඳව PHDT හි කාර්මික නිලධාරීන්ගේ දැනුවත්බව වර්ධනය කිරීමයි. මෙම පුහුණුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) සහ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ (CIDA) සහයෝගය ඇතිව පැවැත්විනි. කදුකර ප්‍රදේශවල නිවාස ඉදිකිරීම් කටයුතුවලට සම්බන්ධිත තාක්‍ෂණික නිලධාරීන්ගේ දැනුම වර්ධනය කිරීම වැඩසටහනෙහි ප්‍රධාන අපේක්ෂාව විය. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ  ගොඩනැගිලි අනුමත කිරීමේ ක්‍රියාදාමය පිළිබඳව ඔවුන්ගේ දැනුම පුළුල් කර ගැනීමට ද මෙය අවස්ථාවක් විය. මෙම වැඩසටහන මගින් ගොඩනැගිලි අනුමත කිරීමේ ක්‍රමවේදයට අදාළ සැක සංකා තත්වයන් දුරු කර ගැනීමට අවස්ථාව ලැබිනි.

නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) සැළසුම් නිලධාරීන් පුහුණු කිරීම

මෙම පුහුණු කිරීමේ අරමුණ නායයාම් උවදුරු සිතියම් හා නායයාම් අවදානම් සිතියම් නාගරික සංවර්ධන අධිකාරියේ සංවර්ධන සැළසුම්වලට ඇතුලත් කිරීමයි. මෙම පුහුණුව මගින් නාගරික සැළසුම්කරණය හා ආපදා අවදානම් අවම කිරීමේ මෙවලම් හා තාක්ෂණයන් පිළිබඳව සැළසුම් නිලධාරීන්ගේ අවබෝධය පුළුල් කිරීමට හැකියාව ලැබේ.