නාය හානි අවමකරගමු

කාසල්රි ජලාශය ආසන්නයේ සිදු වූ නාය යෑම

ලංකික භූමියෙන් 30%ක් පමණ වන මධ්‍යම කඳුකරය මේ වනවිට නාය යාමේ අවදානම නිසා ආපදා සංවේදී කලාපයක් බවට පත්ව ඇති බව නොරහසක්. කඳුකරයේ ජනගහනය ක්‍රමයෙන් වැඩිවීම නිසා උද්ගතවූ බොහෝ ක්‍රියාකාරකම් නාය අවදානම වර්ධනය කරන්නට හේතුවක් වී ඇති බව කරන ලද අධ්‍යන වලින් පෙනී යන්නක්. කෙසේවෙතත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දශක දෙකකට අධික කාලයක සිට සිදුකරමින් පවතින පර්යේෂණ සහ අධ්‍යන මගින් නාය අවදානම අවම කිරීමේ කර්තව්‍යක නියැලී සිටි. ඒ අතර ක්ෂේත්‍ර පරීක්ෂණ මගින් නාය අවදානම තිබෙන්නාවු ස්ථාන අධ්‍යන කිරීම සහ හඳුනාගැනීම ප්‍රධාන වෙයි. භූ විද්‍යාත්මක දැනුම උපකාරී කරවන මෙම ක්‍රියාවලිය නිසා බොහොමයක් ජිවිත ආපදාවට ලක්වන්නට පෙර ගලවා ගැනීමට හැකි වී තිබේ.

පසුගිය සතියේ ඇති වූ අසාමාන්‍ය කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ සමහර දිස්ත්‍රික්ක ( කෑගල්ල, රත්නපුර, කළුතර, නුවරඑළිය, මහනුවර, ගාල්ල වැනි) සදහා නාය යෑම් පුර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරන්නට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට සිදුවිය. අධික වර්ෂාපතනය නිසා කඳුකරයේ යම් යම් ස්ථානවල නාය අවදානම් විභවයක් ගොඩනැගෙන්නට විය. මේ වනවිට කාලගුණික තත්වය යහපත් වීම හේතු කොටගෙන නාය අවදානම් විභවය පහව යන බව පෙනී යයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සිදුකරන ක්ෂේත්‍ර පරීක්ෂණ මගින් ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම අතිශය වැදගත් බව මෙහිලා සදහන් කල යුතුය. පසුගිය දිනෙක අඹගමුව, නිව් වැලිගම ග්‍රාම නිලධාරී වසමේ නිව් වැලිගම ග්‍රාමයේ කාසල් රි ජලාශය ආසන්නයේ වූ භූ අස්ථාවරත්වය අධ්‍යනය කර පවුල් 5ක් (සාමාජිකයින් 23ක්) ස්ථිරව ඉවත්කරන්නට ලබා දුන් නිර්දේශය ඉතා දූර දර්ශි තීරණයක් බව මේ වන විටත් මනාව පැහැදිළි වී ඇත. නිව් වැලිගම ග්‍රාමයේ එම අස්ථාවර ප්‍රදේශය අද වන විට නාය යාමක් බවට පෙරළි ඇත (පින්තුරය 01). ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් ලබා දුන් එම තීන්දුව පිළිගත් එම ජනතාව තම ජිවිත අවදානමෙන් ගලවා ගන්නට සමත් විය. එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ දොඩන්ගොඩ, නෑහින්න ග්‍රාමනිලධාරී වසමෙහි නෑහින්න ග්‍රාමය භූ අස්ථාවර ප්‍රදේශයක් සදහා 2014 වසරේ ලබා දුන් නිර්දේශය සනාත කරමින් නාය යාමට ලක් වී ඇත. එම වසරේ එහි වූ ගෙවල් දෙකක ජනතාව ස්ථිරව ඉවත් කිරීම නිසා මෙම අනතුරට ඔවුන් භාජනය වීමෙන් වැළකිනි.

මෙලෙස බොහෝ ස්ථාන වලදී ජනතාවගේ සහයෝගය ලැබුනද එසේ නොවන අවස්ථා ද වාර්තා වෙයි. ගාල්ල නාගොඩ වාඩියකන්ද ප්‍රදේශයේ සිදුවූ භූ අස්ථාවරත්වය හේතුවෙන් නිවාස කිහිපයක් අනතුරට ලක් වූ අතර 2017 වසරේ ලබා දුන් නිර්දේශය නොසලකා හැරීම මෙයට හේතුව විය. එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ ද ඒ හා සමාන සිදුවීමක් වාර්තා වෙයි. ඒ කළුතර මරික්කාර් විදියෙනි. 2014 වසරේ දී ස්ථිරව ඉවත් විය යුතු බවට ලබා දුන් නිර්දේශය නොසලකා හැරීම නිසා මෙවර නිවාස හතරක් අනතුරට ලක් වූ අතර එනිසා පවුල් හතක 31 දෙනෙකු අවතැන් විය. ජනතාවගේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම නොසලකා හැරීම නිසා මෙවැනි සිදුවීම් ගණනාවක් සෑම වසරකම වාර්තා වන අතර එය ද අවම කර ගැනීම සදහා ජනතාවගේ සහයෝගය මෙහි දී ඉතා වැදගත් බව සදහන් කල යුතුය.

කළුතර මරික්කාර් විදියේ සිදු වූ කන්ඩි කඩා වැටීම