English (United Kingdom)Tamil-Sri Lanka
ඔබ මෙතනයි : මුල් පිටුව නායයෑම් අධ්‍යයන සහ සේවා

නායයාම් පර්යේෂණ සහ අවදානම් කළමනාකරණය

නායයාම් කලාපකරණය සිතියම්ගත කිරීම.

ශ්‍රී ලංකාවේ කළුතර, ගාල්ල, හම්බන්තොට, නුවරඑළිය, මාතලේ, මහනුවර, කෑගල්ල, රත්නපුර, මාතර සහ බදුල්ල යන නායයෑම්වලට බහුලව භාජනය වන දිස්ත්‍රික්ක 10 තුල නායයෑම් කලාපකරණය සිතියම්ගත කිරීමේ වැඩසටහනක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ, නායයෑම් පර්යේෂණ හා අවදානම් කළමනාකරණ අංශය විසින් ක්‍රියාත්මක කරන ලදී.  මේ සමඟ නායයෑමේ වැඩි ප්‍රවණතාවයක් පෙන්වා ඇති ප්‍රදේශ උදෙසා නිර්දේශ කර ඇති ගුරු උපදේශන මධ්‍යම කඳුකරයෙහි සිදුකරන සංවර්ධන කටයුතු ආදියේදී අවශ්‍යවන තීරණ ගැනිමට මහත් පිටුවහලක් වේ.  තවද, මෙම නායයෑම් කලාපකරණය සිතියම්, නැවත පදිංචි කිරීම් සඳහා සුදුසු ඉඩම් තෝරා ගැනීම, පුනරුත්ථාපන ක්‍රියාකාරකම්, සහනාධාර සහ රක්‍ෂණ ලබාදීම් වැනි කටයුතු ආදියේදී ද භාවිතා කළ හැක.  මෙම සිතියම්ගත කරණය 1:50,000 සහ 1:10,000 පරිමාණයන් අනුව සිදුකෙරේ.

දැනට මාතලේ, මහනුවර, නුවරඑළිය, බදුල්ල, කෑගල්ල, රත්නපුර සහ කළුතර යන දිස්ත්‍රික්ක සඳහා 1:50,000 පරිමාණයේ නායයෑම් ආපදා කලාප සිතියම් ලබා ගැනීමට සැලසුම්කරවන්, සංවර්ධකයන්, තීරණ ගන්නන් සහ සාමාන්‍ය ජනතාවට හැකියාව තිබේ

1:50000 පරිමාණයේ සිතියම් බා ගැනීම

1:10,000 පරිමාණයේ නායයෑම් කලාපකරණය සිතියම්ගත කිරීමේ ක්‍රියාවලිය ක්‍ෂේත්‍ර අධ්‍යයනයක සහ නායයෑම් හේතුකාරක හයක මෙන්ම එහි උපකාරණ හේතූන් හි බලපෑම් අධ්‍යයනයේ ප්‍රතිඵලයක් වන බැවින් මෙම සිතියම්කරණය, නායයෑමේ හැකියාව තවදුරටත් වර්ධනය විය හැකි හා නායයෑමට වඩාත්ම ප්‍රවණතාවයක් ඇති ප්‍රදේශයන් සඳහා පමණක් සීමා වේ ( 1:10000 පරිමාණයේ සිතියමක් නිරීන්‍ෂණයට )

දිස්ත්‍රික්කය

භූමි ප්‍රමාණය

(වර්ග කිලෝමීටර්)

නුවර එළිය 709
බදුල්ල 920
රත්නපුර 760
කෑගල්ල 272
ගාල්ල 360

මීට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ වර්ග කිලෝමීටර් 640 ක සහ මාතර දිස්ත්‍රික්කයේ වර්ග කිලෝමිටර් 320 ක සිතියම්ගත කරණ කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින අතර, 2013 වර්ෂයේ මුල් භාගයේදී එම සිතියම් මහ ජනතාවට ලබා ගැනීමට හැකි වනු ඇත.  හම්බන්තොට දිස්ත්‍රික්කයේ වර්ග කිලෝමිටර් 400 ක භූමි ප්‍රදේශයක සිතියම්ගත කරණය සඳහා අවශ්‍ය ක්‍ෂේත්‍ර අධ්‍යයන කටයුතු 2012 අගෝස්තු මසදී ආරම්භ විය.

දැනට නායයෑම් කලාපකරණ සිතියම් ලබාගත හැකි ප්‍රදේශයන් පිළිබඳ තොරතුරු පහත සිතියමෙහි දක්වා ඇත.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

නායයාම් ආපදා කලාප සිතියමේ එක් එක් නායයාම් ආපදා කලාප සංවර්ධනය කිරීමේ දී අනුගමනය කළ යුතු සාමාන්‍ය ක්‍රියා මාර්ග පහත දැක්වේ.

සිතියම (වර්ණය) නායයාමට ඉඩ ඇති කලාපය සංවර්ධනය සඳහා ගුරූපදේශ
නායයාමට වඩාත්ම ඉඩ ඇති ප්‍රදේශ නායයාම් නිසා ජීවිත සහ දේපලවලට තර්ජනයක් පවතී. එබැවින් නව ඉදිකිරීම්වලට අවසර නොදිය යුතු ය. සහතික ලත් විශේෂඥයින් විසින් භූමිය පරීක්ෂා කිරීමෙන් පසු නියමකරන ප්‍රමාණවත් ආරක්ෂක විධිවිධාන සහිතව  පමණක් දැනට පවතිව ව්‍යුහයන්ට අත්‍යාවශ්‍ය එකතු කිරීම්වලට ඉඩ දිය හැක.  නායයාමේ ලක්ෂණ පැහැදිලි නම් සහ අවදානම් මට්ටම ඉහළ නම් කල් ඇතිව අනතුරු හඟවන පද්ධති ස්ථාපනය කළ යුතු ය.
නායයාම් බලාපොරොත්තු විය හැක.

නායයාමේ උපද්‍රව ඇතිවීමට  මධ්‍යස්ථ මට්ටමේ ඉඩක් පවතී. නව ඉදිකිරීම්වලට අනුබල නොදිය යුතු ය. බෑවුම් හායන ක්‍රියාවලිය නැවත්වීම සහ බෑවුම් ස්ථාවරතාවය ඉහල නැංවීම සඳහා වැඩි දියුණු ඉඩම් පරිහරණ සැලසුම් ක්‍රියාදාම හඳුන්වා දිය යුතු ය. සියළු නව ඉදිකිරීම් ද, පිළිසකර කිරීම් ද, නව ව්‍යාපෘති ද, ක්‍රියාත්මක කිරීමට   පෙර නායයාමේ ප්‍රවනතාවයට ඇති බලපෑම පිළිබදව ඇගයීමක් කළ යුතු ය.
නායයාමේ උවදුර මඳ වශයෙන් පවතී නායයාමේ උවදුර ඉතාම සුළු වශයෙන් පවතී. ඉංජිනේරුමය උපදෙස් මත  නියාමනය කරනු ලැබූ නව ඉදිකිරීම් ද, හොඳින් සැලසුම් කළ වගාවන් ද සිදු කිරීමට අවසර දිය හැක. ඉදිකිරීම සඳහා සම්පාදිත සියළු සැලසුම් තාක්ෂණය ට අනුකූලව පිරික්සා සහතික කළ යුතු ය.

නායයාමක්  සිදු වීමට ඇති හැකියාව

ඉතාමත් ම අඩුය

දැනට පවත්නා දැනුම අනුව බෑවුම් අස්ථාවරභාවය හෝ ඒ ආශ්‍රිත අනතුරක ලක්ෂණ දක්නට නැත. විශේෂයෙන් හොඳින් කළමනාකරණය කළ ඉඩම් සහ ඉංජිනේරු උපදෙස් මත සිදු කරන ඉදිකිරීම සඳහා පොදු සීමාවන් පැනවිය යුතු නැත. විශේෂයෙන් ජල ගැලීම් සහ පාංශු ඛාදනයට පාත්‍ර වන ප්‍රදේශවල ස්ථානගත සීමාවන් පැනවීම අවශ්‍ය විය හැක.

ඉහළට

නාය යාමේ උවදුර හඳුනා ගැනීම සහ නායයාමේ අවදානම විශ්ලේෂණය කිරීම.

විවිධ සංවිධාන, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරු, සංවර්ධන කාර්යයෙහි නියුතු වූවන් සහ පෞද්ගලික හිමිකරුවන්ගේ ඉල්ලීම පරිදි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයාම් අධ්‍යයන සහ සේවා අංශය මෙරට විවිධ ප්‍රදේශවල නායයාමේ විභව්‍යතා හඳුනා ගැනීම සහ ඉඩම් නායයාමේ අවදානම විශ්ලේෂණය කිරීමේ ගවේෂණ සිදු කොට, නායයාමේ අවදානම අවම කිරීමට නිර්දේශ ඉදිරිපත් කරයි.

සියළුම ආකාරයේ ඉදිකිරීම්, ප්‍රමුඛ සංවර්ධන ව්‍යාපෘති, ගල් කැඩීමේ ව්‍යාපෘති ද, පස් කපා ඉවත් කිරීම් ද, අනුමත කරන රාජ්‍ය ආයතන ඉහත සඳහන් අන්දමේ නායයාම් විභව්‍යතා හඳුනාගැනීම් සහ නායයාමේ අවදානම විශ්ලේෂණය කිරීම සඳහා නායයෑම් අධ්‍යයන සහ සේවා අංශයේ සේවාවන් සහ උපදේශනය ලබා ගනිති.

මැයි 2003, ජනවාරි 2007 සහ ජනවාරි 2011 වැනි කාල වලදී නායයාම් නිසා සිදු වූ මහා පරිමාණ ව්‍යසනවලදී ද, උවදුරට පාත්‍ර වූ ප්‍රදේශවල ජීවිත සහ දේපළවලට එමගින් එල්ල වූ අවදානම තක්සේරු කිරීම සහ මහජනයාගේ ආරක්ෂාව තහවුරැ කිරීමට රජයෙන් ලද ඉල්ලීමට නායයාම් අධ්‍යයන සහ සේවා අංශය වහා ප්‍රතිචාර දැක්වී ය.

ඉහළට

නායයාම් පිළිබඳ ගවේෂණ සඳහා ඉල්ලුම් කිරීම

නායයාම් ගවේෂණ සඳහා ඉල්ලුම්පත්‍ර බා ගැනීම

නායයාම් අධ්‍යයන සහ සේවා අංශයෙන් සේවාවක් ඉල්ලා සිටීම සඳහා ඉල්ලුම් පත්‍රය. ඉංග්‍රීසි | සිංහල | දෙමළ

ඉහළට

කඳු සහිත ප්‍රදේශවල ඉදිකිරීම් සහ ඉඩම් පරිහරණ සැලසුම් සඳහා මාර්ගෝපදේශ

නායයාම්වලට පාත්‍රවිය හැකි ප්‍රදේශවල ඉදිකිරීම් සඳහා උපයෝගී වන සාමාන්‍ය මාර්ගෝපදේශ ගොනුවක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයාම් අධ්‍යයන සහ සේවා අංශය විසින් සකසා ඇත. මෙම ගුරූපදේශ අනුගමනය කිරීමෙන් ඉදිකිරීම් සහ වෙනත් සංවර්ධන කටයුතුවල බලපෑම හේතු කොට ගෙන ඇති විය හැකි නායයාමේ තර්ජනය අවම කළ හැක. මෙයට අමතරව, නායයාමේ විභව්‍යතාව සහ අවදානම විශ්ලේෂණය කිරීමේ ගවේෂණයකින් පසුව, ඉඩම් පරිහරණ සැලසුම්කරණය, ඉදිකිරීම් සහ ක්‍රියාත්මක කරන වෙනත් සංවර්ධන කටයුතු උදෙසා අදාල ස්ථානවලට විශේෂිත වූ නායයාමේ තර්ජනය අවම කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග පිළිබද උපදෙස් ද සපයනු ලැබේ.

නායයාමට ඉඩ ඇති ප්‍රදේශවල ඉදිකිරීම් සඳහා මාර්ගෝපදේශ (ඉංග්‍රීසි)

නායයාමය ඉඩ ඇති ප්‍රදේශවල ඉදිකිරීම් සඳහා මාර්ගෝපදේශ (සිංහල 1)

නායයාමට ඉඩ ඇති ප්‍රදේශවල ඉදිකිරීම් සඳහා මාර්ගෝපදේශ (සිංහල 2)

කුඩා නේවාසික ගොඩනැගිලි සඳහා නායයාම ආශ්‍රිත උපද්‍රව අවදානම අඩු කිරීම සඳහා පිරික්සුම් ලැයිස්තුව.

ඉහළට

නායයෑමට ලක් වූ කඳු බෑවුම් ස්ථායිකරණය

නායයෑමට ලක් වූ කඳු බෑවුම් ස්ථායිකරණයලිහිල් කිරීම

නායයෑමට ලක් වූ කඳු බෑවුම් ස්ථායිකරණය

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමට ලක්වන කඳු බෑවුම් ව්‍යුහාත්මකව ස්ථායි කිරීමේ ප්‍රධාන ව්‍යාපෘති හතරක් පේරාදෙනිය, පදියපැලැල්ල, මහවැව සහ ගැරඬිඇල්ල යන ප්‍රදේශ තුල ක්‍රියාත්මක කර ඇත. මීට අමතරව, යෝග්‍ය ඉඩම් පරිහරණ පිළිවෙත් හඳුන්වා දීමෙන් නායයාමේ බලපෑම අවම කිරීමේ ව්‍යුහාත්මක නොවන ව්‍යාපෘති දෙකක් ද, බදුල්ල හා මාතලේ යන දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කර ඇත.

පේරාදෙනියේ නායයෑම ස්ථායිකරණය

කොළඹ - නුවර මාර්ගයේ, පේරාදෙනිය නගරය අසල පේරාදෙනිය නායයාම සිදුව ඇත. නගරයේ කඩ කීපයක් විනාශ කරමින් මාර්ගයේ වාහන ගමනාගමනය සති කීපයකට අඩාල කරමින් 2006 නොවැම්බර් මාසයේ දී මෙම නායයාම සිදු විය. පේරාදෙනිය, ඓතිහාසික මහනුවර නගරයට දොරටුවකි. එබැවින් කොළඹ නුවර ප්‍රධාන මාර්ගය භාවිතා කරන්නන්ගේ මෙන්ම, පේරාදෙනිය නගරවාසීන්ගේ සහ පේරාදෙනිය නගරයට පැමිණෙන්නන්ගේ ආරක්‍ෂාව සහ යහපත සඳහා මෙම නායයෑම ස්ථායි කිරීමට තීරණය කළ ශ්‍රී ලංකා රජය, ඒ වෙනුවෙන් රු. දශ ලක්‍ෂ (මිලියන) 102 ක් ආයෝජනය කරන ලදී.

 

    පේරාදෙනියේ නායයෑම ස්ථායිකරණය

නායයාම් අධ්‍යයන සහ සේවා අංශය විසින් 2008 දෙසැම්බර් මාසයේ දී ආරම්භ කරන ලද නායයෑම ස්ථායිකරණ කටයුතු සඳහා, බෑවුම මට්ටම් කැපීම සහ හෙල්මලු සකස් කිරීම, ගල් පිපිරවීම, පස වැරගැන්වීම, පාෂාණ වැරගැන්වීම සහ පස මතු පිට ජලාපවහනය ක්‍රමවත් කිරීම වැනි ව්‍යුහාත්මක ක්‍රම අනුගමනය කරනු ලැබේ. මෙම ව්‍යාපෘතියෙහි සම්පූර්ණ පිරිවැයෙන් රුපියල් මිලියන 87 ක් දැනට වැයවී ඇති අතර ස්ථායිකරණ කටයුතු 75% ක් අවසන් කර ඇත. 2012 අප්‍රේල් මාසයේ දී ඉතිරි කටයුතු අවසන් කිරීමට අපේක්‍ෂා කෙරේ.


2009 ඔක්තෝම්බර් 15 දින පෙරවරු 2.30ට පමණ, ගන්නෝරුව කෘෂි පර්යේෂණ මධ්‍යස්ථානයේ වාර්තා වූ පරිදි මි.මී. 80.3 ක වර්ෂා පතනයක් පැවති අවස්ථාවේ, මෙම නායයාම ප්‍රතිසක්‍රීය විය. ස්ථායිකරණ කටයුතුවල නියුතු ව සිටින කණ්ඩායම් විසින් එම නායයෑම් ආශ්‍රිත චලනයන් නිරතුරු අධීක්‍ෂණයට ලක් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, නායයාම ප්‍රතිසක්‍රීය වීමට පෙර ඒ ගැන පූර්ව අනතුරු ඇඟවීමෙන් හා වගකිව යුතු නිලධාරීන් දැනුවත් කිරීමෙන් ජන ජීවිත ආරක්ෂා කිරීමට සහ සිදුවිය හැකිව තුබූ ව්‍යසනයක් වලක්වා ගැනීමට හැකිවිය. නායයාම් අධ්‍යයන සහ සේවා අංශය විසින් අස්ථාවර ගල් ඉවත්කොට මීටර් 40 ක් දිග මීටර් 3.5 ක් උස වැටියක් මාස 03 ක් ඇතුළත ඉදිකොට 2010 ජනවාරි මාසයේ දී කොළඹ නුවර පාර නැවත විවෘත කිරීමට අවස්ථාව සලසන ලදී.


පදියපැලැල්ල නායයාම ස්ථායිකරණය.

වලපනේ හඟුරන්කෙත ප්‍රධාන පාර අසල පදියපැලැල්ල නගරයේ, 2007 ජනවාරි 12 දින සිදු වූ මෙම නායයාම නිසා නිවාස තුනකට වැඩි සංඛ්‍යාවක් විනාශ වූ අතර මාර්ගයේ වාහන ගමනාගමනය ද, අඩාල විය. පදියපැලැල්ල යනු හඟුරන්කෙත සහ වලපනේ අතර පිහිටි ප්‍රධානම නගරය වන අතර මතුරට සහ මන්දාරම්නුවරට ප්‍රධාන ප්‍රවේශය ද පදියපැලැල්ල හරහා වැටී ඇත. එබැවින් ව්‍යාපාරික ප්‍රජාවගේ ද, මාර්ගය භාවිතා කරන්නන්ගේ ද, නගරවාසීන්ගේ ද, පදියපැලැල්ලට පැමිණෙන්නන්ගේ ද, යහපත සඳහා මෙම නායයාම ස්ථායි කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය රු. දශ ලක්‍ෂ (මිලියන) 51.38 ක් ආයෝජනය කර ඇත.

 

නායයාම් අධ්‍යයන සහ සේවා අංශය විසින් 2009 ජනවාරි මාසයේ දී මෙහි ස්ථායිකරණ කටයුතු ආරම්භ කරන ලදී. රැඳවුම් ව්‍යුහයන් තැනීම, පස මතුපිට ජලාපවහනය ක්‍රමවත් කිරීම ආදී ව්‍යුහාත්මක ස්ථායිකරණ ක්‍රම මෙම නායයෑම ස්ථායිකරණය සඳහා යොදා ගැනේ.

ව්‍යාපෘතිය සඳහා වෙන් කර ඇති මුළු පිරිවැයෙන් රුපියල් මිලියන 35 ක් වැය කර, ස්ථායිකරණ ක්‍රියාදාමයෙන් 75% ක් දැනට අවසන් කර ඇති අතර, 2012, පෙබරවාරි මස අග දී සියළු කටයුතු නිම කිරීමට අපේක්‍ෂා කෙරේ.

මහවැව නායයාම ස්ථායිකරණය.

2007 ජනවාරි 12 දින මහ වර්ෂාව සමග, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කුඹල්ගම, මහවැව සිදු වූ නායයාම නිසා නිවාස 65 කට වැඩි සංඛ්‍යාවකට හානි සිදු විය. එබැවින් සියළු ගම්වැසියන් එවකට පදිංචි ස්ථානවලින් ඉවත් කරනු ලැබී ය. ප්‍රථම නායයාමට පසු පැවති අධික වර්ෂාව නිසා, නායයාම ක්‍රමයෙන් වලපනේ හඟුරන්කෙත ප්‍රධාන මාර්ගය දක්වා තවදුරටත් ව්‍යාප්ත විය. මෙම නායයාම ප්‍රතිසක්‍රීය වුවහොත් එමගින් බෑවුමේ ඉතා පහළ කොටසේ පිහිටි කීර්ති බණ්ඩාර විද්‍යාලයට හානි සිදු වීමට ඉඩ ඇති බැවින් මෙම නායයාම ස්ථායිකරණය කිරීමට තීරණය විය.

නායයාම් අධ්‍යයන සහ සේවා අංශය විසින් 2009 වර්ෂයේ දී, ජපානයේ අන්තර්ජාතික සහයෝගිතා නියෝජිත ආයතනයේ ද ආධාර මත ආරම්භ වූ බෑවුම මත ස්වයංක්‍රීය වර්ෂාමානක, විතතිමාන සහ වික්‍රියා ආමාන සවි කිරීම සහ බෑවුම් චලන පසුවිපරම මේ වන විට අවසන් කර ඇත. ස්ථායිකරණය සඳහා රුපියල් මිලියන 441 ක් වැය වන අතර ඒ සඳහා ශ්‍රී ලංකා රජයේ මුල්‍යමය සහයෝගය අපේක්‍ෂා කෙරේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ නායයාමේ බලපෑම අවම.

මානව ක්‍රියාකාරකම් අධික වීම සහ කඳුකර ප්‍රදේශවල සැලසුමකින් තොර සංවර්ධන කටයුතු නිසා බදුල්ල දිස්ත්‍රික්කයේ නායයාම වැඩි වශයෙන් සිදුවන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් අධ්‍යයනයන්ට අනුව පෙනී ගොස් තිබේ. එබැවින් බදුල්ල දිස්ත්‍රික්කය සඳහා යෝග්‍ය ඉඩම් පරිහරණ ක්‍රියාදාම හඳුන්වා දීමෙන්  නායයාමේ බලපෑම අවම කිරීමේ  ව්‍යුහාත්මක නොවන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇත. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව (LUPPD) සමග ඒකාබද්ධව ක්‍රියාත්මක  කෙරේ. දිස්ත්‍රික්කයෙහි යාවත්කාලීන කරන ලද ඉඩම් පරිහරණ සිතියම් ඉහත සඳහන් දෙපාර්තමේන්තුව විසින් සපයන අතර නායයාමේ අවදානම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අධ්‍යයනය කර විශ්ලේෂණය කරනු ඇත. මෙම ව්‍යාපෘතිය යටතේ ඌවපරණගම, හපුතලේ, සහ බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුල නායයෑම් ප්‍රවනතා අධ්‍යයනය සිදු කර ඇත. මෙම ව්‍යායාමයේ මූලික ප්‍රතිඵලය වශයෙන් ගොඩනැගිලි සහ වෙනත් ඉදිකිරීම් සඳහා යෝග්‍ය ඉඩම් පරිහරණ සහ තාක්ෂණික ක්‍රමවේදයන් සහ එම ක්‍රමවේද ක්‍රියාවට නැංවීමේ මාර්ගෝපදේශ සම්පාදනය කෙරේ. සම්පාදිත ක්‍රමවේදයන් ක්‍රියාවට නැංවීම ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව විසින් සිදු කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතියෙහි සම්පූර්ණ පිරිවැය රුපියල් මිලියන 03 කි.

මාතලේ දිස්ත්‍රික්කයේ නිරීක්ෂිත භූමිය කිඳා බැසීමේ අවදානම අවම කිරීම.

2006 වර්ෂයේ දී, මාතලේ නගරයට ආසන්න විශාල ප්‍රදේශයක පිහිටි නිවාස රාශියක ඉරිතැලීම් ඇති වීම, හදිසියේ පොළවේ කිඳා බැසීම් ඇති වීම සහ ජල උල්පත් රැසක් පොළවේ ඇති වීම වැනි අසාමාන්‍ය සිදුවීම් දක්නට ලැබුණි. උකුවෙල සිට මාතලේ නගරය හරහා පලාපත්වල දක්වා විශේෂිත කලාපයක ගෙවල් ඉරිතැලීම තැනින් තැන සිදු වී තිබුණි. මෙම තත්ත්වය අතිශයින් භයානක බව නිගමනය විය. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී මාතලේ සහ රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හී ග්‍රාම නිලධාරී වසම් 24 ක ඉරිතැලීම සිදු වූ ගෙවල් 3000 ක් පමණ හඳුනා ගන්නා ලදී.

නායයෑම් අධ්‍යයන හා සේවා අංශය මගින් සිදු කළ විස්තරාත්මක අධ්‍යයනයකින් පසු කිඳා බැසීමේ උවදුරට පාත්‍ර  වන කලාප සටහන් කළ සිතියම් සකස් කරන ලදී. ඉන් පසුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් මෙම ආපදාව අවම කිරීමේ ව්‍යුහාත්මක නොවන  ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇත. එම ව්‍යාපෘතියෙහි අරමුණ නම් ගොඩනැගිලි ඉදිකිරීම සහ භූමිය මත ජලාපවහනය ක්‍රමවත් කිරීම සඳහා මාර්ගෝපදේශ සකස් කිරීම යි. තව ද යෝජිත මාර්ගෝපදේශ අනුගමනය කිරීමේ වැදගත්කම ප්‍රජාවට අවබෝධ කිරීමට ද පියවර ගන්නා ලදී. ව්‍යාපෘතියෙහි සම්පූර්ණ පිරිවැය රුපියල් මිලියන 2.0 කි.

ගැරඬිඇල්ල නායයාම ස්ථායිකරණය.

නුවරඑළිය - ගම්පල මහා මාර්ගයේ, 41 වෙනි කිලෝ මීටර් කණුව අසල ඇති නාය යැමට ලක් වූ ගැරඬිඇල්ල බෑවුම කොත්මලේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුල පිහිටා ඇත. නුවරඑළිය - ගම්පල මහා මාර්ගය භාවිතා කරන්නන්ගේ, කොත්මලේ ජලාශයේ, රම්බඩ ග්‍රාම සේවා වසම තුල ජීවත් වන පවුල් 230 ක සහ කොත්මලේ නගරයේ නිර්මිත පරිසරයේ ආරක්‍ෂාව සහ යහපත වෙනුවෙන් මෙම නායයෑම ස්ථායිකරණය කිරීම 2011, අගෝස්තු මස 02 දින ආරම්භ කරන ලදී.

මීට අදාල භූ විද්‍යාත්මක සහ භූ තාක්‍ෂණික ඉංජිනේරුමය පර්යේෂණ 2011 වසර තුලදී අවසන් කර ඇති අතර, එම පර්යේෂණ ප්‍රතිඵල අනුව සුදුසු ස්ථායිකරණ ක්‍රමවේදයන් නිර්මාණය සහ ක්‍රියාත්මක කිරීම 2012 වසර තුල දී සිදු කෙරේ. ශ්‍රී ලංකා රජයේ මුල්‍ය සහයෝගය මත නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතියෙහි  සම්පූර්ණ පිරිවැය රුපියල් මිලියන 90.0 කි.

භූ ප්‍රතිරෝධීතා පරීක්‍ෂණ සිදු කිරීම අධ්‍යන්‍ෂ ජනරාල් තුමා නිරීන්‍ෂණ චාරිකාවක

ගලබඩ නායයාම ස්ථායිකරණය.

රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගල්ලෑල්ල ග්‍රාම සේවා වසම තුල පිහිටා තිබෙන මෙම ගලබඩ නායයෑම, පහල බෑවුමේ ජීවත් වන පවුල් 10 ක්, ව්‍යාපාරික ස්ථාන, රත්ගඟ (පුංචි දඔදිව) විහාරය, ගලබඩ වත්ත, රත්නපුර-වේවැල්වත්ත මහා මාර්ගය සහ එය භාවිතා කරන්නන් ගේ ආරක්‍ෂාවට අහිතකර බලපෑමක් වී තිබේ. 2010 වසරේ මාර්තු මස, ජපානයේ අන්තර්ජාතික සහයෝගිතා නියෝජිත ආයතනයේ ආධාර මත, නායයාම ස්ථායිකරණ කටයුතු ආරම්භ වූ අතර, බෑවුම මත ස්වයංක්‍රීය වර්ෂාමාන, විතතිමාන, වික්‍රියා ආමාන සවි කිරීම සහ බෑවුම් චලන පසුවිපරම මේ වන විට අවසන් කර ඇත.
මීට අමතරව, 2012 ජූලි මසදී මීටර 40 ක් ගැඹුරට මිහිවිදමන් ගවේශණ දෙකක් සිදුකර නායයෑම් අවදානමට අදාල භූ ස්ථර පිළිබඳ අධ්‍යයනයක් ද සිදුකර ඇත. ඒ අනුව නිර්මාණය කළ නායයෑම ස්ථායී කරන ක්‍රමවේද වන යෝජිත රැඳවුම් බැමි සහ තිරස් ජලවහන කාණු පද්ධති සවිකිරීම ජපන් අන්තර් ජාතික සහයෝගීතා නියෝජිත ආයතනයේ තාක්ෂණ හා මූල්‍ය ආධාර මත 2012 ඔක්තෝම්බර් මාසයේදී ඉඳි කිරීමට අපේක්ෂා කෙරේ.

මෑත දී ඇති වූ ආතති පැළුම ගලබඩ මිහිවිදමන් ගවේශණය

නිව්බර්ග් නායයාම ස්ථායිකරණය.

නායයෑම් අධ්‍යයන හා සේවා අංශයේ තාක්‍ෂණික නිර්දේශ මත, ප්‍රජා මූලික ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරන ලද බදුල්ල, නිව්බර්ග් වත්ත නායයෑම ස්ථායිකරණ කටයුතු වතු කළමනාකාරීන් ගේ පූර්ණ සහයෝගය සහ USCOD නම් වූ රාජ්‍ය නොවන සංවිධානයේ මුල්‍ය ප්‍රතිපාදන මත සිදු කෙරේ. 2010 වසරේ අග දී, නාය බඳ පෙදෙසෙහි ජල වහන මාර්ග සහ කාණු පද්ධති පිළිසකර කිරීම් සමග ආරම්භ වූ ස්ථායිකරණ කටයුතු, 2010 දෙසැම්බර් මස සිට 2011 පෙබරවාරි මස දක්වා පැවති ධාරානිපාත වර්ෂා සමය තුල තාවකාලිකව නැවතුනි. එනමුත්, එම අධික වැසි සමය තුල අසල් වැසි පෙදෙස් නිරතුරුවම නායයෑමට බඳුන් වෙද්දී මෙම ස්ථානය භූ පැළුම් කීපයත් පමණක් ඇති වී ආරක්‍ෂිතව පැවතීමෙන් අභිප්‍රේරිත ජනතාව 2011 ජූලි මස දී ඉතිරි ස්ථායිකරණ කටයුතු ඉදිරියට කරගෙන යාම ආරම්භ කරන ලදී. මෙම නායයෑම ස්ථායිකරණය නිසා වතු ජනතාව මෙන්ම, පාසල සහ මාර්ග පද්ධතිය මත එල්ල වී ඇති නායයෑමේ තර්ජනය අවම කෙරේ.

මල්හෑව ගල් පෙරලීම ස්ථායිකරණය.

කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, මල්හෑව ග්‍රාම සේවා වසමේ, අඹහෙල, හුනුපිටිය කන්ද ආශ්‍රිත ගල් පෙරලීමේ තර්ජනය, නායයෑම් අධ්‍යයන හා සේවා අංශයේ විද්‍යාඥයින් විසින් සාර්ථකව අවම කරණය කර ඇත.

මෙම ගල් පෙරලීමේ තර්ජනය නිසා හුනුපිටිය කන්ද පාමුල ප්‍රදේශයේ පදිංචි කරුවන් මෙන්ම කොත්මලේ - තවලම්තැන්න - පුන්ඩළු ඔය මාර්ගය භාවිතා කරන ජනතාව ද කලක සිට නිරන්තර පීඩාවට ලක් වෙමින් සිටියහ. කන්දේ ඉහල බෑවුමේ රැඳී තුබූ අස්ථාවර ගල් කුට්ටි ඉවත් කිරීමට අමතරව රැඳවුම් අගල්, බැමි සහ රැඳවුම් වැට වැනි ව්‍යුහාත්මක නිර්මිත ද මෙම ක්‍රියාවලිය සඳහා උපයෝගි කරගෙන ඇත.

මල්හෑව ගල් පෙරලීමේ තර්ජනය අවම කිරීම

ඒකාබද්ධ නායයෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය

මීට අමතරව, බදුල්ල, නුවරඑළිය, මහනුවර සහ මාතලේ යන දිස්ත්‍රික්කයන් හි ජනතාවට, පොදු සහ පෞද්ගලික දේපල, යටිතල පහසුකම්, සහ වගා බිම් කෙරෙහි තර්ජනයක්ව පවතින නියයෑම් 47ක් ස්ථායිකරණය කිරීමේ අවශ්‍යතාව නායයාම් අධ්‍යයන සහ සේවා අංශය විසින් හඳුනාගන ඇති අතර ප්‍රමුඛතාවය මත  තෝරාගත් නායයෑම් ස්ථායිකරණය සඳහා අවශ්‍ය මුල්‍ය පහසුකම් ලබාගැනීම සම්බන්ධව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හා ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා පැවැත්වේ.

ඉහළට

දැනුවත් කිරීමේ සහ පුහුණු කිරීමේ වැඩසටහන්

නායයාම් සහ නායයාමේ තර්ජනය සමග ජීවත් වීමේදී විමසිලිමත් විය යුතු කරුණු පිළිබඳ කඳු බෑවුම්වල ජීවත් වන ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධාන යේ නායයෑම් අධ්‍යයන හා සේවා අංශය මෙහෙයවයි. වැඩසටහන්වල අරමුණුගත කණ්ඩායම් වන්නේ පාසල් ළමුන්, තීරණ ගන්නන්, සැලසුම්කරුවන්, පරිපාලකයන්, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් සහ ගැමි ජනතාව ය. දැනුවත් කිරීම සඳහා පොත්, පෝස්ටර්, වීඩියෝ පට සහ අත්පොත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් සකස් කර ඇත.

  • නායයාම ආශ්‍රිත දැනුවත් කිරීමේ / පුහුණු කිරීමේ වැඩසටහන් සඳහා ඉල්ලීම්.
  • ඉදිරි පුහුණු වැඩසටහන්
  • කාර්‍ය්‍ය මණ්ඩල පුහුණුව
  • ශ්‍රී ලංකාවේ නායයාම්.
  • නායයාම් ගැන පූර්ව අනතුරු ඇගවීම්.
  • නායයාමේ තර්ජනය අඩු කිරීමේ පියවර.
  • මහවැසි පවතින විට කුමක් කළ යුතු ද?
  • නායයාම් ගැන කල් ඇතිව අනතුරු ඇඟවීමක් ලැබුණ විට මා කුමක් කළ යුතු ද?
  • නායයාමක් පවතින විට කුමක් කළ යුතු ද?

ඉහළට

නායයාම් පූර්ව අනතුරු ඇඟවීම

සංවර්ධන කටයුතු සිදු කිරීමේ දී නායයාමට ඉඩ ඇති ප්‍රදේශ මගහැරවීමට කල් ඇතිව ලැබෙන අනතුරු ඇඟවීමේ මෙවලමක් ලෙස නායයාම් ආපදා කලාප සිතියම භාවිතා කළ හැකි වුවත්, ඉහළ මට්ටමක නායයාමේ විභව්‍යතාවයක් පවතින බොහෝ ප්‍රදේශවල ජනයා දැනටමත් පදිංචි වී සිටින බැවින් මෙම ප්‍රජාවගේ ජීවිත ආරක්ෂා කිරීමට වර්ෂාපතන දත්ත සහ නායයාමේ විභව්‍යතාවයේ තීව්‍රතාව පදනම් කොට ගෙන නායයාම් අධ්‍යයන සහ සේවා අංශය නායයාම ගැන පූර්ව අනතුරු ඇඟවීම් සිදු කරයි.

  • ආදර්ශ පූර්ව අනතුරු ඇගවීමේ නිවේදනයක් නිරීක්ෂණය කිරීමට
  • මහවැසි පවතින විට කුමක් කළ යුතු ද?
  • නායයාම් ගැන කල් ඇතිව අනතුරු ඇඟවීමක් ලැබුණ විට කුමක් කළ යුතු ද?
  • නායයාමක් පවතින විට කුමක් කළ යුතු ද?

වැඩි දුර තොරතුරු සදහා

ඉහළට

නායයාම් දත්ත පදනම

අන්තර්ගතයක් නැත

ඉහළට

අවසන් යාවත්කාලීන කිරීම 2013 මැයි 15 වෙනි බදාදා, 10:29  
යාවත්කාලීනය : 20-05-2013.