නුවරඑළිය, හපුවල නායයෑම සක්‍රීය වේ

 

 

 

නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙහි පිහිටි හපුවල ග්‍රාමයෙහි පසුගිය නොවැම්බර් 10වන දින නායයෑමක් සක්‍රීය වී ඇත. පළමුවරට මෙම ස්ථානයෙහි නායායෑම් ලක්ෂණ මතුව ඇත්තේ 2014 වර්ෂයේ දෙසැම්බර් මස වන අතර එම අවස්ථාවේදී ස්ථානයේ පවතින අවදානම සලකා එම ස්ථානය ආශ්‍රිතව ජීවත් වූ පවුල් 15ක් පමණ ඉවත් කිරීමට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් පියවර ගෙන තිබිණි. මෙවර එම ස්ථානයේ පහළ වී තිබෙන නායයෑම් ලක්ෂණ,පෙර නායෙහි සක්‍රීය වීමක් ලෙස සැලකිය හැක.මෙවර නායයෑම මඩ ගලනයක්(mudflow)ලෙස සිදුව ඇති අතර මේ සඳහා හේතු වී ඇත්තේ ස්ථානයේ භූමියෙහි භූ විද්‍යාත්මක සංයුතියයි. ස්ථානයේ සිදු කළ ක්ෂේත්‍ර පරීක්ෂණ මගින් මේ වන විට අනාවරණය වී ඇති පරිදි මෙහි ඉහල බෑවුම ආශ්‍රිත භූමිය හුණුගල්(marble) ස්ථරයකින් සමන්විත වන අතර මෙම හුණුගල් ස්ථරය තුළ භූගත ජල සංසරණය මගින් නිර්මාණය වූ කුහර(solution cavities)තුල ක්‍රම ක්‍රමයෙන් මඩ තැන්පත් වී එම කුහර මඩින් පිරීයාමත් සමග භූගත ජලය මගින් කුහර තුළ අධිකව වර්ධනය වූ පීඩනය, කුහර පුපුරා මඩ ඉවතට ගලායාමට හේතු සාධක වී ඇත. මෙම මඩ බෑවුම මතින් ගලාවිත් නිම්නයට එක්වී ඒ ඔස්සේ පහළට ගමන් කරමින් පවතී.

 

  

3  4