ශ්‍රී ලංකාවේ වායු දූෂණ මට්ටමේ අසාමාන්‍ය ලෙස ඉහළ යාමක්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වායු ගුණ මැණිමේ මධ්‍යස්ථාන වල දත්තයන්ට අනුව මේ දින වල ශ්‍රී ලංකාවේ වායු දූෂණ මට්ටමේ අසාමාන්‍ය ලෙස ඉහළ යාමක් නිරීක්ෂණය වේ.

ශ්‍රී ලංකාවේ දකුණු දිග ප්‍රදේශ හැර කොළඹ, මහනුවර, පුත්තලම, වව්නියාව, යාපනය ඇතුළු අනෙකුත් ප්‍රදේශ වල වායු ගෝලයේ අංශූමය ද්‍රව්‍ය මට්ටම ඔක්තෝම්බර් 27 වන දින සිට අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව පහත රූපයේ දත්තයන් මගින්  නිරීක්ෂණය කල හැකිය.

aq

 මෙහිදී වායු ගෝලයේ අංශුමය ද්‍රව්‍ය ප්‍රමාණය සාමාන්‍යයෙන් පසුගිය දිනවල පැවති ප්‍රමාණය මෙන් දෙගුණයකට වඩා ඉහළ ගොස් ඇති අතර ඇමෙරිකානු තත්ව දර්ශකයට අනූව (U.S. Air Quality Index) ඉතා කුඩා අංශුමය ද්‍රව්‍ය වන PM 2.5 වලට සාපේක්ෂව තත්ව දර්ශකය 100 - 150 අතර අගයක් දක්වා ඉහලගොස් ඇති අතර එම ප්‍රමාණය  සංවේදී පුද්ගලයින් කෙරෙහි යම් බලපෑමක් ඇති කිරීමට හැකි තත්වයක් වේ.

කොරෝනා වෛරසය පැතීරීමේ අවදානම් තත්වයත් සමග මේ දිනවල රථ වාහන ගමනාගමනය අඩු මට්ට්මක පවතින හෙයින් නාගරික ප්‍රදේශ වල වායු දූෂණ මට්ටමේ  යම් අඩුවීමක් පෙන්නුම් කර තිබියදී මෙසේ එකවරම ශ්‍රී ලංකාව තුල වායු ගෝලයේ අංශුමය ද්‍රව්‍ය මට්ටම අස්වාභාවික ලෙස ඉහල යෑමට හේතුසාධක වන්නේ මේ දිනවල දිවයින අවට පවතින සුළං ප්‍රවාහයන්ගේ වෙනස් වීමක් බවත් එහිදී ඉන්දියානු අර්ධද්වීපයේ ඉහළ අහසේ ඇති වැඩි වායු දූෂක සුළං ප්‍රවාහයන් මගින් අප වායුගෝලයට ඇතුල්වීම මගින් සිදුවන බලපෑමක් බව එයාර් විෂුවල් (Air Visual) වෙබ් අඩවියේ ඇති ලෝක වායු ගුණ ව්‍යාප්ති දත්තයන්ට අනුව පහත රූපයන් මගින් පැහැදිලිව පෙන්නුම් කරයි.

aq2

මෙම තත්වය ඉදිරි දින කීපයක් තුළ පවතී යයි අපේක්ෂා කල හැකි අතර මෙම වායුගුණ තත්ත්වය සංවේදී පුද්ගල කාණ්ඩයන්ට (කුඩා ළමුන්, වැඩිහිටි අය, ගර්භනී මාතාවන් හා ශ්වසන රෝග වලින් පෙලෙන අය) හුස්ම ගැනීමේදී යම් අපහසුතාවයක් ඇති කිරීමට හැකියාව ඇතත් අනෙකුත් අයට එතරම් බලපෑමක් නොමැත. කෙසේ නමුත් මෙම තත්ත්වය හේතුවෙන්  ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටළු පිලිබදව සොයා බැලීම සදහා සෞඛ්‍ය අංශවල අවධානයට යොමු කර ඇති අතර  සෞඛ්‍ය ගැටළු අවම කර ගැනීම සඳහා නිතර මුඛ ආවරණ පැළඳීම, එළිමහනේ වෙහෙසකර කාර්යයන් (ව්‍යායම, ක්‍රීඩා කටයුතු, වැඩකටයුතු) අවම කිරීම වැනි ක්‍රම අනුගමනය කිරීම යෝග්‍ය වේ. තවද යම් ශ්වසන අපහසුතාවයන් ඇතිවන්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනිමට කටයුතු කල යුතුය.

වෙනදාමෙන් ඈත ඇති ගොඩනැගිලි හා අනෙකුත් ස්ථාන පැහැදිලිව නොපෙනීම, අවට වායුගෝලයේ දුමාරයක් පැතිර ඇති ආකාරයක් දිස්වීම, තරමක් අඳුරු අහස්කුසක් පැවතීම වැනි ස්වභාවික වෙනස්කම් මගින් මෙවැනි අඩු වායුගුණ තත්වයන් පැවතීම නිරීක්ෂණය කල හැක. නාගරික ප්‍රදේශයන් හී පිහිටුවා ඇති  අපගේ වායු ගුණ මැණීමේ මධ්‍යස්ථාන වල දත්ත උපයෝගී කර ගනිමින් මෙම තත්ත්වයන්ගේ වෙනස්වීම් පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින අතර අවශ්‍ය පුද්ගලයන් හා ආයතන දැනුවත් කිරීම් කිරීමට බලාපොරොත්තු වේ.

පාරිසරික අධ්‍යයන හා සේවා අංශය

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය