ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වර්තමාන තත්වය

ජාතිය සඳහා ආපදාවලින් තොර පරිසරයක් සකස් කිරීමට කැප වූ විවිධ ශික්ෂණයන් නියෝජනය කරණ විශේෂඥයන් පිරිසක් එක් වී ඇති සාර්ථක තාක්ෂණ සේවා සපයන්නෙක් සහ පර්යේෂණ සහ සංවර්ධන ආයතනයක් ලෙස 1984 දී ස්ථාපිත ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වර්ධන වී ඇත. පරිසර විද්‍යාව, නායයාම සහ ඒ ආශ්‍රිත භූ විද්‍යාත්මක උවදුරු, මානව ජනාවාසකරණ සැලසුම්කරණය, ඉංජිනේරුමය ව්‍යාපෘති කළමනාකරණය, භූ තාක්ෂණික ඉංජිනේරු ශිල්පය සහ ගොඩනැගිලි ද්‍රව්‍ය ඉංජිනේරු ශිල්පය වැනි ඉතා පුළුල් පරාසයක ශික්ෂණයන් ආවරණය කරන විශේෂඥතා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සතුය. අවුරුදු ගණනාවක් තුළ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිපුණතා පූර්ණ පර්යේෂණ ආයතනයක් ලෙස තම ධාරිතාව දියුණු කරගෙන ඇත. වර්තමානයෙහි එය ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ පර්යේෂණ හස්ථය ලෙස කටයුතු කරයි. තම ජීවන පරිසරය තුළ ජාතිය මුහුණ පාන විවිධාකාර ගැටළු ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය හඳුනාගෙන ඇත. උසස් ජීවන මට්ටමක් වර්ධනය කිරීමට අවශ්‍ය විසඳුම් සොයා ගැනීමට මෙම සංවිධානය සැදී පැහැදී සිටියි.

ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ පැවරුමට සරිලන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අරමුණු සංශෝධනය කර ඇත. උවදුරු අවදානම අඩු කිරීම යන ප්‍රධාන අරමුණ කෙරෙහි යොමු වී සියළු කටයුතු නැවත ප්‍රතිසැලසුමකට භාජන කර ඇත. ස්වයං ඉපයීම මත ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය බෙහෙවින් රදා සිටින අතර, එම ආයතනයේ මුල්‍ය ආදායම් බොහෝමයක් රජය හා පෞද්ගලික අංශය වෙත පිරිනමන උපදේශන සහ පරීක්ෂණ සේවාවන්ගෙන් ලබාගනී.